sponsor

Slider

Recent Tube

Selecting a Career

Tips

Curriculum Vitae

Courses

Our Services

Courses

සල්ලි නැතිව Business පටන්ගන්න බැරිද?

උපුටා ගැනීමකි.



මෙම පැනය අසන ඕනෑම අයකුට ලැබෙන පිළිතුර 'බැහැ' යන්නයි. නමුත් ඔබ පුදුම වන පිළිතුරක් ලබාදීමට මා සූදානම්. එනම් 'ඔව්, පුළුවන්' යන ඓශ්චර්යජනක උත්තරයයි. වත්මන් තරගකාරී ලෝකයේ ප්‍රාග්ධනය ප්‍රධාන ව්‍යාපාර සාධකය බවට පත්ව තිබෙනවා. ප්‍රාග්ධනය, තාක්ෂණය, කළමනාකරණය හා අලෙවිකරණය ව්‍යාපාර පවත්වාගෙන යෑමට උදවු වන ප්‍රධාන සාධකයක්. නමුත් මේ කිසිවක් නොමැතිව ව්‍යාපාර පටන් ගැනීම අදහාගන්න බැරි කාරණයක්. නමුත් ලොව පුරා සෑම තැනකම මේ දේවල් පුදුමඑළවන ආකාරයෙන් සිද්ධ වෙනවා.

ප්‍රාග්ධනය ගැටලුවෙන් මිදෙන්න බැරිව බොහෝ දෙනා තමන්ගේ ව්‍යාපාරික අදහස් උපන්ගෙයි මරා ගන්නවා. මුළු සමාජයටම සාප කරමින් පවතින සමාජ ක්‍රමයටත්, මුදල් ණයට දෙන බැංකුවලටත් නිරන්තරයෙන් බැන වදිමින් ඔවුන් තම ජීවිත විනාශ කරගන්නවා. රැකියා වියුක්තිය, සිය දිවි නසාගැනීම, අධ්‍යාපන ක්‍රමයට බැන වැදීම, කැරලි ගැසීම, දේශපාලකයන්ගේ අතකොළු බවට පත්වීම යනාදිය විවිධ දූෂණ හා අපචාරයන්ට ගොදුරුවීම ආදිය තුළින් බොහෝ දෙනා ඊට පිළිතුරු සොයනවා.

මෙලොව උපදින සියල්ලෝම උපදින්නේත්, මිය යන්නේත් අතේ සතයක් නැතිවය. නමුත් ජීවත් වන අය සල්ලිවලට අසීමිත වැදගත්කමක් දෙනවා. අද ලොව සෑම දෙයක්ම සල්ලි නොමැතිව කිරීමට නොහැකි දේවල් ලෙස සැකැසී තිබෙනවා. එම නිසා සෑම දෙයකින්ම සල්ලි හම්බ කිරීමට අද සමාජය පෙලඹී තියෙනවා. සල්ලි නිතරම ප්‍රතිඵලයක්. නමුත් එය යමක හේතුව නෙවෙයි. වැඩ කළොත් සල්ලි, බඩු වික්කොත් සල්ලි, ඉගෙන ගත්තොත් සල්ලි. සල්ලි මවන්න පුළුවන් දෙයක්. ඒ කොහොමද? තමන්ගේ බුද්ධිය තුළින් ප්‍රායෝගික මිනිසකු ලෙස ජීවත්වීමට තම බුද්ධිය පාවිච්චි කිරීමෙන් බොහෝ දෙනකුට තම නිදන්ගත ජීවිත ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්න පුළුවන්.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදල් පසුපසම හඹායන එක නතර කර මඳක් දෑස් විවර කර අවට පරිසරය දෙස බලන්න. වටිනා කියන සම්පත් බොහොමයක් ඔබ අවට තිබේ. ඒ තුළින් ඔබගේ ව්‍යාපාරයට අඩිතාලම සකසා ගත හැකිය. එසේ ආරම්භ කළ ව්‍යාපාර පිළිබඳ ඉතිහාස කතා බොහොමයක් අපට තිබෙනවා.
පහන් තිරයෙන් ව්‍යාපාරික ලොවට...

පහනක් දල්වා ගැනීම සඳහා පිරිසුදු රෙදි කැබැල්ලක් ඉරාගෙන පහන් තිරයක් හදා ගැනීම එදා අපේ සෑම ගෙදරකම සිරිතක් වුණා. අම්මා හෝ ආච්චි හෝ පහන් තිරයක් අඹරා ගැනීමට අත හෝ කකුල පාවිච්චි කළ ආකාරය ඔබේ සිතේ මැවෙන්න පුළුවන්. මෙය අපේ සිංහල සංස්කෘතිය තුළ පැලපදියම් වූ විශේෂ ලක්ෂණයක්. එහි අතීතය වසර දහස් ගණනක් වෙන්න ඕනෑ. නමුත් අද මොකද වුණේ? සෑම ගෙදරකම පහන් තියරක් ඕනෑ වුණාම රුපියලක් දීලා පහන් තිර පැකැට්ටුවක් කඩයෙන් ගෙන්නා ගන්නවා. අද කොයි ගෙදරද මේ සිරිතෙන් බැහැරවෙලා ඉන්නේ? ඔක්කොම කඩේට දුවනවා. එහෙම දුවන්නේ ගෙදරක පිරිසුදු රෙදි කැබැල්ලක් නැති හින්දද? නැත්නම් පහන් තිරයක් අඹරාගන්නට තාක්ෂණ ඥානයක් නැති නිසාද? එසේත් නැතිනම් ඒකට මිඩංගු කරන්න තරම් කාලයක් නැති නිසාද? මෙවැනි ප්‍රශ්න ඔබේ හිතට ක්‍ෂණයෙන් ගලා ඒවි

. ඒකට උත්තරය මොකක්ද? කවදා හෝ දවසක අපේ පුංචි රටේ පුංචි මිනිසකුට පහන් තිරයක් අඹරා කඩේකට දැම්මොත් එය විකුණා ගන්න පුළුවන් යන අදහස සිතක පහළ වුණා. වෙළෙඳපොළට රිංගාගෙන තම ආධිපත්‍ය ගොඩනඟා ගන්න පුළුවන් බව ඔහු තම අත්දැකීමෙන් තේරුම් ගත්තා. පසුදා උදේම ක්‍රියාත්මක වුණා. ඇඟලුම් කම්හලක ඉවත දමන රෙදි කැබැලි ගොඩක් දෑතට ගෙන පුංචි කතුරක ආධාරයෙන් සෙලෝපේන් කෑල්ලක් රත්කර පහන් තිර පැකැට්ටු කිහිපයක් තනා කඩේක එල්ලුවා. දින කිහිපයකින් පහන් තිර පැකැට්ටුව අලෙවි වුණා. ක්‍රමයෙන් ඔහු එම පුරුද්ද දිගින් දිගටම ගෙන ගියා. මුළු ලංකාතලයේම හැම ගෙදරකම මේ පහන් තිර පැකැට්ටුව සොයා එන තෙක් ඔහු දිගින් දිගටම පහන්තිර නිර්මාණය කළා.
සල්ලි නැතිව ව්‍යාපාර පටන්ගන්න පුළුවන් කියන කතාව බොරුවක්ද? වෙළෙඳපොළ ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කිරීමේ හැකියාව ඔහුට දායාදයක් වුණා. ව්‍යාපාර අදහස දියත් කරන්න කාසි නෝට්ටුවලින් සාක්කුව පිරී තියෙන්න ඕනෑ නෑ කියා ඔහු අපට උගන්වා නැද්ද?

තියුණු බුද්ධියෙන් හා අවංකකමින් ව්‍යාපාරික ලොවට....
එක්තරා තරුණයෙක් තමන්ට කළ හැකි දෙයක් ඇත්දැයි විමසුම් සිතින් පසුවුණා. ඔහු සතුව කිසිම මුදලක් තිබුණේ නැහැ. නමුත් ඔහු යමක් පටන් ගැනීමේ අදහසින් තියුණු ඇසකින් ජීවත් වුණා. එක් දවසක් පුවත්පතක විවිධ ප්‍රමාණයේ කළුගල් ඉල්ලා දැන්වීමක් පළකොට තිබුණා. අවශ්‍ය ප්‍රමාණය හා කළුගල්වල උපරිම මිල ගණන්ද එහි සඳහන් වුණා. අඩුම මිල ගණන් සඳහන් කරන්නකුට ටෙන්ඩරය ලබාගත හැකි බව ඔහු වටහා ගත්තා.

මේ අනුව පළමුව ඔහුගේ පදිංචි නිවෙස වටා ඇති ගල්වළ වෙත ගොස් ඔවුන් සමඟ මිල ගණන් සාකච්ඡා කළා. ටෙන්ඩරය තමන්ට ලැබුණොත් ඔවුන්ගෙන් කළුගල් ලබා ගන්නා බවත්, මුදල් ලැබුණු පසු ඔවුන්ට මුදල් ගෙවිය හැකි බවත් දන්වා සිටියා. කතිකා කරගත් මිල ගණන්වලට මඳක් වැඩිකර ඉතා අඩු මිල ගණන් ඇති ටෙන්ඩරයක් සකසා ඉල්ලුම් කළ පසු ඔහුට එය ලැබුණා. එය ඔහුගේ ජීවිතයේ විශාල ජයග්‍රහණයක් වුණා. ඉන් පසුව නියමිත දිනට කළුගල් සැපයීමට ඔහු ක්‍රියාත්මක වුණා. පොරොන්දුව වූ පරිදි කළුගල් සපයන්නෝ අදාළ ප්‍රමාණයන් පොරොන්දු වූ මිල ගණන්වලට ණයට ලබාදීම ඇරැඹුවා. කාලයත් සමඟ ඔහු ලක්ෂපතියෙක් වුණා. ඒ සඳහා ඔහුට වැය වුණේ ටෙන්ඩරයේ අයැදුම්පත්‍රය සඳහා වැය වූ මුදල පමණි. සල්ලි නැතිව පටන්ගත් තියුණු බුද්ධිය, තීරණ ගැනීමේ ශක්තිය හා ඔහුගේ අවංකභාවයයි.

මී කුණකින් ඇරැඹූ ව්‍යාපාරයක්....
අවසාන වශයෙන් මී කුණක් විකුණා පොහොසතෙක් වූ කතාව රැගත් චුල්ලසෙට්ටි ජාතකයේ කතාන්දරය ඔබට මතක් කරදෙන්න කැමැතියි. තම ජීවිතය කෙසේ නමුත් ගැටගසා ගනිමියි සිතූ ධෛර්යසම්පන්න අසරණ මිනිසකු මහ මඟ තිබූ මී කුණක් අතට ගෙන ඉදිරියට ගමන් කළා. මේ මී කුණ දුටු තවත් මනුෂ්‍යයෙක් ඒ මී කුණ තම බළලාට හොඳ යැයි සිතා කාසි කිහිපයක් දී මිලට ගත්තා. ඒ කාසි කිහිපයෙන් ප්‍රයෝජනවත් යමක් කළ යුතු සිතා පසුවදා මල් නෙළන ළඳුන්ට උක් හකුරු හා පැන් විකිණීමෙන් මුදල් ඉපයීමට ඔහු කල්පනා කළා. සිතූ පරිදි මල් නෙළන ලියන් සියලු දෙනාම ඔහුගේ සේවය ප්‍රශංසා කොට තමන් නෙළාගත් මල්වලින් මිට මිට දී ඔහුගේ සේවය අගය කළා. මේ පුරුද්ද දිගටම ගෙන ගියා. පසුව ඒ ළඳුන් ඒ මල් යායේ මල් කඩාගන්නට ඔහුට අවසර දුන්නා. මේ මල් විකුණා ඔහු ක්‍රමයෙන් පොහොසත් වුණා.

මේ අතර විශාල කුණාටුවකින් විනාශ වී ගිය උයනක තිබූ දර කන්දරාවක් ඉවත් කිරීමට ඔහු උයන් පල්ලාගෙන් අවසර ගත්තා. ඒ අවට සිටි ළමයින්ගේද ආධාර ඇතිව ඔහු ඉක්මනින් උයනේ දර සියල්ල ඉවත් කළා. ඒ දර කන්දරාව දුටු කුඹල් මිනිසකු ඒ දරවල වටිනාකම දැක ඒවා මිලට ගන්නට කල්පනා කළා. ඒ ගනුදෙනුකරුවා මුදල් හා වළං දී ඔහුව සතුටට පත් කළා. දැන් ඔහු පෙරටත් වඩා පොහොසත්. ඔහුට ලැබුණු වළං සියල්ල විකුණා ඔහු අවට ජනයා සමඟ ඉතා කුලුපග වී වෙළෙ¼දාම දියුණු කරගත්තා. පසු කලෙක අසුන් සඳහා තණකොළ සැපයීමෙන්ද, නැවියන් සමඟ ගනුදෙනු කිරීමෙන්ද විශාල ධනසම්භාරයකට උරුමකම් පෑවා. මේ සියල්ල මී කුණකින් ඇරැඹීම අදහාගත නොහැකි විප්ලවයක්. ව්‍යාපාරයක් අරඹන්න මුදල් අනිවාර්ය නොවේ යන කතාව යටගිය දවස මේ කතන්දරයෙන්ද ඔප්පු වෙනවා.

මෙලොව සියලු දෙය බිහිවීමේලා මුල්ව ඇත්තේ සිතය; මුදල් දෙවැනුවය
ව්‍යවසායකයන් ලෙස ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පුල පුලා සිටින ඔබ මුදල්වලට අනවශ්‍ය ප්‍රධාන තැනක් දෙමින් ඔබේ ව්‍යාපෘති අදහස යටකරන්න එපා. මුදල් වෙනුවට ඔබේ නිරීක්ෂණ ශක්තිය, ආත්ම ධෛර්යය, කැපවීම, ශිල්ප ඥානය, උපාය මාර්ග ආදිය මුදල් ලෙස සිතා ඒවා ඉතා යෝග්‍ය අයුරින් ගළපා ඔබේ ව්‍යාපෘති අදහස දියත් කරන්න. ඒ ගමන ඉතා සෙමින් විය හැකියි. එහෙත් ඔබේ ඉලක්ක වෙත ගමන් කරනු නොඅනුමානය. මෙලොව සියලු දෙය බිහිවීමෙහිලා මුල්වී ඇත්තේ සිතය. මුදල් දෙවැනුවය.

මේ කතන්දර කිහිපය නිසා ව්‍යාපාරයක් පටන්ගන්න අවශ්‍ය මුල්ම සාධකය පරිසරය නිරීක්ෂණය තුළින් ලබාගන්නා අවබෝධය සමඟ මුසු වූ එඩිතරකම හා කැපවීම බව පෙනෙනවා. සල්ලි හෝ ප්‍රාග්ධනය අජීවී වස්තූන්. ඒවාට අගය දිය හැක්කේ අපේ වටිනා සිතිවිලිවලට පමණයි. අපේ සිතිවිලි මලානික වූ විට අපේ මුදල්ද මලානික වෙනවා. සිතිවිලි ප්‍රාණවත් වූ තරමට මුදල්ද අප්‍රමාණ ලෙස ජීවයක් ලබනවා. අපේ ප්‍රාණවත් වූ සිතිවිලිවලින් ව්‍යාපාරයකට අවශ්‍ය සියලු සාධක ගොනු කරන්න පුළුවන්. එයට පරිසරය නිවැරැදිව හැදෑරීමත්, මිනිසුන්ගේ චර්යාවන් නිවැරැදිව වටහා ගැනීමත්, පරිසරය ඉදිරියේ ඔවුන්ගේ හැසිරීම් හා ප්‍රතික්‍රියා දක්වන ආකාරය වටහා ගැනීමටත් අපේ සංස්කෘතික රට අධ්‍යයනය කිරීමත් අද මූලිකව වැදගත් කරුණු වී තිබෙනවා.
මේ නිසා ව්‍යාපාරවලට අත ගසන ඔබ සල්ලිවලට මූලික තැනක් නොදී ඔබේ සිතිවිලිවලට නව ජීවයක් දෙන්න.

මුල් ලිපිය.

සාර්ථක CV එකක් සාදා ගනිමු - 3 (සාර්ථක CV එකක් කොහොම විය යුතුද)

සාර්ථක CV එකක් කොහොම විය යුතුද?


හොඳ CV එකක්, සාර්ථක CV එකක් හදන්න කියල හරියටම කියන්න පුළුවන් ක්‍රමයක් නෑ. 

නමුත් මෙන්න මේ දේවල් CV එකක තිබිය යුතුයි කියල කියන්න පුළුවන්.

  • ඔබ අයදුම් කරන රැකියාවට එය විශේෂිත විය යුතුයි. රැකියා 10කට ඔබ අයදුම් කරනවා නම් ඒ 10ටම එකම CV එක දාන්න බෑ. (එක සමානම රැකියා අවස්ථා හැර) මොකද විවිධ රැකියා සඳහා තිබෙන අවශ්‍යතා වෙනස් නිසා.
  • පැහැදිලිව, පිරිසිදුව තර්කානුකූලව පිළිවෙළකට සැකසූ, පහසුවෙන් කියවිය හැකි ආකාරයට එය සැකසිය යුතුයි. අපිළිවෙළට සැකසූ CV එකක් කියවන්න කවුරුත් කැමති නෑ.
  • එහි තිබිය යුතු සියළුම තොරතුරු තිබිය යුතු අතර කෙටි විය යුතුයි. කිසිම කෙනෙක් කැමති නෑ රචනා වගේ CV කියවන්න.
  • එය අන්තර්ගතය, අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ යන ඒවායින් නිවැරදි විය යුතුයි. බොරු දාන, හරියකට දෙයක් ලියාගන්න බැරි කෙනෙක්ව වැඩට ගන්න කවුරුවත් කැමති නෑ. ඔබගේ භාෂා ඥාණය හොඳ යයි ඔබ CV එකෙහි සඳහන් කර ඇතිනම් මෙය තවත් වැදගත්.
  • හොඳ කඩදාසියක ඔබගේ CV එක මුද්‍රණය කරගන්න. දුර්වර්ණ වූ, පොඩි වුනු කඩදාසි වල CV දුන්නොත් එතනින්ම ඔබගේ නොසැළකිළිමත් බව ප්‍රදර්ශනය වනවා. 


තම CV එක හදද්දි අයදුම්කරුවන් සිදු කරන වැරදි මොනවාද
සේවා යෝජකයින් එක්ක කරල තිබෙන සමීක්ෂණයකින් මෙවන් තොරතුරු ටිකක් සොයාගෙන තිබෙනවා.

  • ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාස වැරදි (56%ක් සේවා යෝජකයින්ට මෙමෙ වරද අසු වෙලා තිබෙනවා) ඉහතත් මේ ගැන කියවුනා. ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාස නිවැරදිව CV එක සෑදිය යුතුයි. ඔබට ඒ පිළිබඳ ගැටළු තිබෙනවා නම් හොඳ භාෂා දැනුමැතියෙක්ගෙන් ඔබගේ CV එක නිවැරදි කරගන්න. 
  • ඉල්ලුම් කරන රැකියාවට අදාල වන ආකාරයට සාදා නෑ. (21%ක්) මේකත් ඉහත කතා කළා. එක රැකියාවකට හදන CV එකක් තවත් රැකියාවකට නොගැළපෙන්න පුළුවන්. ඉතින් ඔබ රැකියා කිහිපයකට ඉල්ලුම් කරනවා නම් ඒවාට ගැලපෙන ලෙස වෙන වෙනම CV සෑදිය යුතුයි. ඒත් එක්කම කියන්න ඕනෙ නෑනෙ, ඒව පටළවගන්නෙ නැතිව තියාගෙන සම්මුඛ පරීක්ෂණයට, අදාල එක අරන් යන්න ඕනෙ කියන එක.
  • CV එකෙහි දිග හරි හැටි තේරුම් අරගෙන නෑ සහ දුර්වල පෙර රැකියා ඉතිහාසයක් (16%). CV එක ඕනෙවට වඩා කෙටි උනොත් ඔබගේ දුර්වලතාවයක් ඒක. තම පළමු රැකියාවට යන පුද්ගලයෙක්ට උනත් පාසලේ, විශ්ව විද්‍යාලයේ, වෙනත් ආයතනයකදී කල දේවල් පිළිබඳ CV එකට ඇතුලත් කළ හැකි විය යුතුයි. එහෙම කියල ඔනෙ එකයි එපා එකයි ඔක්කොම දාන්න එපා. ගැළපෙන දේවල් දාන්න. රැකියා කිහිපයක් කරල තවත් රැකියාවකට මාරු වෙන කෙනෙක් නම්, පෙර රැකියා වල කල දේවල් පිළිවෙලකට එකතු කරල තියන්න. පෙර රැකියා හරි හැටි කරල නැතිනම් උබට හොඳ ලකුණක් නම් ලැබෙන එකක් නෑ.
  • CV එකෙහි Format එක නිවැරදිව සකසා නෑ හා bullets භාවිතා කරල නෑ. (11%). CV එක තුල පිළිවෙලක් තිබිය යුතුයි. එක් එක් කොටස් පැහැදිලිව වෙන් කරල, එක කොටසක් තුළ දේවල් කියනකොට bullets and numbering හරි හැටි භාවිතා කරල හැදුවෙ නැතිනම් බලන කෙනාටත් එපා වෙනව.
  • තම නිපුණත්වයන් දක්වා නෑ (9%). ඔබට තිබෙන හැකියාවන්, ඔබගේ ධාරිතාවය දක්වන දේවල් අනිවාර්යයෙන් CV එක තුල තිබිය යුතුයි. ඒවත් ඉල්ලුම කරන රැකියාවට අදාල ඒවා පමණයි.
  • අයදුම්කරුවා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක හා ඊ මේල් ලිපින වල ගැටළු (8%). දුරකථන අංකයක් යෙදුවොත් එය කාර්යයාලීය වේලාවන් තුළ සැමවිටම ක්‍රියාකාරීව තිබිය යුතුයි. ඔබ ඉල්ලුම් කළ රැකියාවේ සේවා යෝජකයා ඔබට කොයි වෙලේ කතා කරයිද දන්නෙ නෑනෙ. අනිත් එක ඊමේල් ලිපිනය. වැදගත් පෙනුමක් තිබෙන ඊ මේල් ලිපිනයක් නැතිනම් අලුතින් හෝ සකසා ගන්න. සමහරු හුරතල් නම් කොටස් දාල, Code Names කොටස් දාල තමන්ගෙ ඊ මේල් ලිපින සකසා ගන්නව. සමහරු අමුතු domain තියෙන ඊ මේල් පහසුමක් භාවිතා කරනවා. ඒව එකක්වත් CV එකට දාන්න එපා. ඔබගේ නම තිබෙන professional email address එකක් සකසා ගන්න. 
  • අවිනිශ්චිත අනාගත අරමුණු / පුද්ගලික profile එකක් යොදා තිබීම (5%). ඔබට පැහැදිලි අනාගත ඉලක්කයක් තිබිය යුතුයි. එහෙම ඉලක්කයක් නැති කෙනෙක් අරගෙන යම් සමාගමකට වැඩක් තියෙනවද??? අනිත් එක, ඔබ හරි හැටි ඔබව හඳුනාගෙන හොඳ Personal Profile එකක් සකසා ගත යුතුයි. වචන 150ක පමණ ඡේදයක් ප්‍රමාණවත්. 
  • සාවද්‍ය තොරතුරු එක් කර තිබීම. (2%). බොරු ලිව්වොත් නම් ඔබ අමාරුවෙ. ඒ නිසා කවදාවත් බොරු නම් දාන්න එපා. 
  • (නොගැලපෙන) ඡායාරූපයක් යොදා තිබීම (1%). සමහර සේවා යෝජකයින් ඡායාරූපයක් යොදනවට කැමති නෑ, සමහරු ඡායාරූපය බලල විතරක් ඔබව මනිනව. ඉතින් කෝකටත් හොඳයි ඡායාරූපයක් නොදා ඉන්න එක. (රැකියාවට රූපය අදාල නම් දැම්මට කමක් නෑ)

ඊලඟට කතා කරමු CV එකෙහි දිග ගැන.
මේ ලිපි මාලාව අවසානයේදී ඔබට හැකි වෙයි, ඉතාම ශක්තිමත් CV එකක් හදාගන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න.


මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:

සාර්ථක CV එකක් සාදා ගනිමු - 2 (අන්තර්ගතය)

මුල් ලිපියෙන් මේ විෂයට ප්‍රවේශයක් ගත්තනෙ. එදා කිව්ව CV එකක තියෙන්න ඕනෙ දේවල් ගැන. අද ඒව ලියන හැටි සවිස්තරාත්මකව කතා කරමු. 

CV එක තුළ තිබිය යුතු විස්තර මොනවාද කියල අපි එදා ලිපියෙ කිව්ව පිළිවෙළට කතා කරමු.

0. Name and contact info (ඔබට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය විස්තර)
මෙතනදි ඔයාගෙ භාවිත නාමය (මුළු නම යොදන්න අවශ්‍ය නෑ. උදා: ඔයාගෙ නම "ජයරත්න මුදියන්සේලාගේ සුනිල් ජයරත්න" කියල හිතමු. නමුත් ඔයා සාමාන්‍යයෙන් භාවිතා කරන්නෙ "සුනිල් ජයරත්න" කියල නම්, අන්න ඒක මෙතන දාන්න.)

ඒත් එක්කම ඔබව සෘජුවම සම්බන්ධ කර ගන්න පුළුවන් දුරකතන අංකයක්, ඊ මේල් ලිපිනයක්, ඔබගේ පුද්ගලික වෙබ් අඩවියක් / ඔන්ලයින් ප්‍රොෆයිල් එකක් තිබෙනවා නම් ඒකත් මෙතන දාන්න පුළුවන්. ඔබගේ CV එකේ ඉහළින්ම තියෙන්න ඕනෙ මේක. සමහර වෙලාවට මේක වම් පසින් යොදනවා, ඒත් ගැටළුවක් නෑ.
තව එකක්. සමහර අය මෙතනදි ඡායාරූපයකුත් යොදා ගන්නවා. ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඔබගේ රූපය රැකියාවට යම් බලපෑමක් කරන එකක් නම්, රැකියාවට රූපයේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඡායාරූපයක් භාවිතා කරන්න. (උදා: ඔබ මේ අයදුම් කරන්නේ Receptionist, Front Office Manager වගේ රැකියාවකට නම් රූපයේ බලපෑමක් තිබෙනවා.) ඒත් එක්කම, සමහර සේව්‍යයන්, රූපය බලල එතනින්ම ඔබට සම්මුඛ පරීක්ෂණයකට කතා කරනවද නැද්ද කියන එක තීරණය කරනව. ඉතින් ධනාත්මක පැත්තට පමණක් බලපානවනම් පමණක් ඡායාරූපයක් එකතු කරන්න.
එහෙම ඡායාරූපයක් එකතු කරනවා නම් ඒක professional ආකාරයට ගත්තු එකක් වෙන්නත් ඕනෙ. ට්‍රිප් එකක් ගිය වෙලාවක, යාළුවො සෙට් උනු වෙලාවක වගේ ගත්තුව දාන්න එපා.

1. Vision / Career Target (වෘත්තීය පැත්තෙන් ඔබගේ අනාගත ඉලක්ක)
මේක ඉතාම වැදගත් දෙයක්. මෙහෙම එකක ලොකු වටිනාකමක් තිබෙනවා. ඒක ඔයා ගැන ඔයාගෙ අනාගත වෘත්තීය සැලසුම් ගැන ඔබගේම වචනයෙන් කියන කෙටි හැඳින්වීමක්. ඉතින් ඒක නරක නම් ඔයාගෙන් ඒ සේව්‍යයාට වැඩක් නෑ. ඔබ හොඳ ඉලක්ක තබාගෙන තිබෙන කෙනෙක් නම් ඒක ඔයාට වාසියක්. හැබැයි මේ ඉලක්ක තාත්වික වෙන්නත් ඕනෙ, සහ ඔබගෙන් ඒ ඉලක්ක වලට යන්න ඔබගේ සැලසුම් මොනවාද කියල ඇහුවොත් ඔබට පිළිතුරු දෙන්නත් පුළුවන් වෙන්න ඕනෙ.

තව වැදගත් දෙයක් තමයි, මේක ටික ටික වෙනස් වෙන්න පුළුවන් ඔබ අයදුම් කරන රැකියාවට අනුව. 
උදා: මාකටිං සම්බන්ධ එකකදි ඔයාගෙ ඉලක්කය වෙන්න පුළුවන් ලංකාවෙ ඉන්න හොඳම Marketer කෙනෙක් වෙනව කියන එක. නමුත් ඒක හරියන්නෙ නෑනෙ ඉංජිනේරුවෙක්ට. අන්න ඒ වගේ.
ඒත් එක්කම මේ ඉලක්කයේ තියෙන්න ඕනෙ එකක් තමයි, "රැකියාව කරන සමාගමට ඉහළම සේවයක් කරමින් ඉදිරියට යනවා" වගේ අදහසක් දෙන දෙයක්. එතකොට ඔයාගෙ CV එක බලන සේව්‍යයාට ඔබ ගැන කැමැත්තක් ඇති වෙනවා.

2. Professional Experience  (වෘත්තීයමය අත්දැකීම්)
මේ ඔබගේ CV එක බලන පුද්ගලයා විශේෂයෙන්ම බලන දෙයක්. මොකද වෘත්තීය අත්දැකීම් ජොබ් එකට ඕනෙ කරන ප්‍රධානම දේ වලින් එකක්. 
ඉතින් මේක ලියනකොට හොඳ පරිස්සමින් ලියන්න ඕනෙ. developed, planned, organised වගේ ක්‍රියා පද භාවිතා කරමින් ලියන්න පුළුවන් නම් ඉතාම හොඳයි. මොකද එතකොට තමයි ඒකෙ වැදගත්කම එන්නෙ.


උදා: නිකම්ම Quality Control Officer කියල කියන්නෙ නැතිව, ඒක ටිකක් විස්තරාත්මකව කියන්න. Accessed the Quality of products, Developed quality limits for the products, as a Quality Control Officer for 2 years. මෙන්න මේ වගේ. 
එතකොට ඔයා ඒ ජොබ් එකේ ඉන්නකොට කළේ මොනවද කියලත් තියෙනවනෙ.

හෝටලේක වැඩ කළා කියන එක පවා එක්තරා වෘත්තීය අත්දැකීමක්. එන පාරිභෝගිකයා සතුටු කිරීම, කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම වගේ මානව සබඳතා තිබෙන ක්‍රියාකාරකම් තිබෙන රැකියාවක්නෙ. හැබැයි එහෙම නොවන දේවල් ලියන්න එපා. (පිරිසිදු කිරීම, භාණ්ඩ පිළිවෙල කිරීම වගේ දේවල්)
සැමවිටම මේ දේවල් ලියනකොට ඔබ දැන් මේ අයදුම් කරන රැකියාවට ගැළපෙන විදිහට ලියන්න. ඊට නොගැළපෙන දේවල් ලියන්න එපා, පොඩිම හරි සම්බන්ධයක් නැති නම්. මොකද සේව්‍යයාට වැදගත් වෙන දේවල් විතරයි අපි ලියන්න ඕනෙ. 

3. Professional Qualifications  (වෘත්තීයමය සුදුසුකම්)
ඉහත අංක 2ට පස්සෙ සේව්‍යයන් බලන  වැදගත්ම දේ තමයි මේක. මොනවද තිබෙන වෘත්තීය සුදුසුකම් කියන එක. මේ කියන්නෙ අධ්‍යාපනික හා වෘත්තීයමය වශයෙන් සළකන වෘත්තියට අදාලව ඔබගේ සුදුසුකම් මොනවාද කියන එක. 
මෙතන අධ්‍යාපනික කිව්වෙ සෘජුවම අධ්‍යාපනික සුදුසුකම් නෙමෙයි, වෘත්තීයමය වන අධ්‍යාපනික සුදුසුකම්. ඒ කියන්නෙ ඔබ වෘත්තීයමය පාඨමාලා හදාරා තිබෙනවා නම් ඒ වගේ දේවල්. 
උදා: ඔබ HR Manager, HR Executive වගේ රැකියාවකට අයදුම් කරනවා නම් මානව සම්පත් කළමණාකරණය පිළිබඳව ඔබ යම් පාඨමාලා වලට සම්බන්ධ වෙලා තිබෙනවා නම් ඒ දේවල් මෙතන දාන්න ඕනෙ. ඔබ Technician / Electrician වගේ රැකියාවකට ඉල්ලුම් කරනවා නම්, ඔබ යම් Technical Courses හදාරා තිබෙනවා නම් ඒව මෙතන ලියන්න ඕනෙ. 
ඊට අමතරව ඉල්ලුම් කරන වෘත්තියට අදාලව Seminars, Workshops වලට සම්බන්ධ වෙලා තිබෙනවා නම් ඒවාත් මෙතන දාන්න පුළුවන්. 

4. Academic Qualifications (අධ්‍යාපන සුදුසුකම්)
මේක නම් මොකද්ද කියල ඔබ කවුරුත් දන්නව. ඔබගේ විධිමත් අධ්‍යාපනික සුදුසුමම් මෙතන යොදන්න අවශ්‍යයයි.

මේක හදනකොට මුලින්ම දාන්න ඕනෙ අවසන්ම අධ්‍යාපන සුදුසුකමයි.
උදා: ඔබ විශ්ව විද්‍යාල උපාධිධාටියෙක් නම්, මුලින්ම විශ්ව විද්‍යාල උපාධිය, දෙවනුව උසස් පෙළ, තෙවනුව සාමාන්‍ය පෙළ ආකාරයටයි ලිවිය යුත්තේ. සාමාන්‍ය පෙළට වඩා පහළ ඒවා කිසිවක් යොදන්නට එපා. ඒවා අනවශ්‍යයි.

5. Achievements (වෙනත් ජයග්‍රහණ)
ක්‍රීඩා, වෙනත් තරඟ, සහතිකපත්, publications, research වගේ දේවල් තමයි මේ යටතට එන්නෙ. ඔබ ක්‍රීඩා ජයග්‍රහණ, වෙනත් තරඟ විභාග, තරඟ ජයග්‍රහණ ලබා තිබෙනවා නම් ඒවා මේ යටතේ යොඟන්න පුළුවන්.

උදා: සමස්ථ ලංකා මීටර් 100 ස්ථානයක් දිනල තියෙනව නම්, පළාත් නව නිර්මාණ කරුවන්ගේ තරඟයෙන් සහතිකපතක් ලබා ගැනීමක්, Australian Chemistry Quiz ජයග්‍රහණයක්, ඔබගේ සමීක්ෂණ වාර්තාවක් යම් ප්‍රසිද්ධ සඟරාවක පළ වීමක්, ඔබ නිර්මාණය කළ යම් system එකක් යම් සමාගමක භාවිතයක්, වගේ දේවල්.
යම් යම් රැකියා වලදී, මෙම දේවල් වලින් හොඳ ලකුණු ප්‍රමාණයක් ඔබට ලැබෙන්නට ඉඩ තිබෙනවා.

6. Extra Curricular Activities (විෂය බාහිර ක්‍රියාකාරකම්) / Interests (කැමති දේවල්)
විෂය භාහිර ක්‍රියාකාරකම් කියන්නෙ ඔබ ඔබගේ අධ්‍යාපනික/වෘත්තීය ජීවිතයෙන් පිටත සිදු කරන දේවල් වලට. ඒවා විනෝදාංශ වෙන්න පුළුවන්, අමතර ආදායම් මාර්ග වෙන්න පුළුවන්, වෙනත් දේ වෙන්න පුළුවන්.
හැබැයි මේ දේවල් වලින් ඔබට වටිනාකමක් එකතු වෙනවා නම් පමණක් විතරයි ඒ දේවල් ගැන කිව යුතු වෙන්නේ.
ඔබ ගීත අහහව, රූපවාහිනිය බලනව කිව්වොත් ලකුණු කැපෙයි. මොකද ඒවායින් කාටවත් ප්‍රයෝජනයක් නැති නිසා.
නමුත්, ක්‍රීඩා කරනවා, පොදු වැඩ වලට සහභාගී වෙනවා, යම් යම් වැඩසටහන් වල සංවිධායක වෙලා ඉන්නව, ගමේ යම් සමාජයක නිලයක් දරනවා, ඡායාරූපකරණය කරනව, ආයෝජනය කරනව, freelancing කරනව, වගේ දේවල් වලින් ලකුණු එකතු වෙනවා.
හැබැයි ඇත්ත දාන්න, මොකද ඒ ගැන සම්මුඛ පරීක්ෂනයේදී හෝ ඔබව රැකියාවට තෝරා ගැනීමෙන් පසුව ඇහුවොත් ඔබ බොරු කාරයෙක් වෙනව.

7. Personal Information (පුද්ගලික තොරතුරු)
ඔබගේ සම්පූර්ණ නම, ලිපිනය, විවාහක/ අවිවාහක භාවය, ජාතිය, හැඳුනුම්පත් අංකය, වගේ ඔබගේ පුද්ගලික තොරතුරු තමයි මීට ඇතුලත් වන්නේ. 

8. Non related referees (ඔබට සෘජු සම්බන්ධයක් රහිත ඔබ ගැන කිව හැකි පුද්ගලයින්)
ඔබව හඳුනන, ඔබ ගැන හොඳ කියන්න පුළුවන් පුද්ගලයින් එක් අයෙක් දෙදෙනෙක් වගේ CV එකේ අන්තිමට කියන්න ඕනෙ. ඇබෑර්තුව පළ කරනකොට ඔවුන් කියනව referees කී දෙනෙක් ඕනෙද කියල. සාමාන්‍යයෙන් දෙදෙනෙක් තමයි ගාණ.

හැබැයි ඔබ ඒ දාන දෙදෙනාට හැකි වෙන්න ඕනෙ ඔබ ගැන හොඳ කියන්න. ඔබ ඔවුන්ගේ නම් `CV එකකට දැම්මොත්, අනිවාර්යයෙන්ම කෝල් එකක් දාලවත් කියල තියන්න ඔබ ඔවුන්ව මෙන්න මේ සමාගමේ මෙන්න මේ ජොබ් එකට ඇප්ලයි කරනකොට referee දැම්ම කියල. ඔවුන්ට අමතක වෙලා, "මට එහෙම කෙනෙක්ව මතක නෑ" කිව්වොත් ඔබ ඉතින් ගෙදරම තමයි.

අන්තිමටම අපි සාමාන්‍යයෙන් දානවනෙ, "මගේ දැනුමේ හැටියට මේ දේවල් නිවැරදි බවට සහතික කරමි" කියල වාක්‍යයක්. ඒක දැන් එතරම්ම භාවිතා වෙන්නේ නම් නෑ. නමුත් දානව නම් "මගේ දැනුමේ හැටියට" කියන කෑල්ල දාන්න එපා. මොකද ඒකෙන් වක්‍රව කියවෙනවා ඔබටම ඔබ සපයන විස්තර ගැන සැකයි කියන එක.

ලිපිය ගොඩක් දිග උනා. නමුත් ඕනෙ කරන දේවල් කියවුනා කියල හිතනවා.
මේ ලිපි මාලාව අවසානයේදී ඔබට හැකි වෙයි, ඉතාම ශක්තිමත් CV එකක් හදාගන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න.

මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:

සාර්ථක CV එකක් සාදා ගනිමු - 1

මේක ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටිය මාතෘකාවක්. 
රැකියාවකට ඉල්ලුම් කරනකොට CV එකක් නිර්මාණය කර ගැනීම අනිවාර්ය දෙයක්. එය තමයි ඔබ ගැන සියළුම විස්තර තිබෙන ගොනුව වෙන්නෙ.



ඉතින් අපි CV ගැන කතා කරමු. 

ඔයාල දන්නවද? මුල්ම CV එක හදල තියෙන්නෙ ලියනාඩෝ ඩාවින්සි විසින් කියල. එයාගෙ CV එක මෙතනින් ගිහිල්ල බලන්න.

මොකද්ද මේ CV එකක් කියන්නෙ?
Curriculum Vitae, කියන්නෙ යම් පුද්ගලයෙකුගේ අධ්‍යාපනික, වෘත්තීයමය ඉතිහාසය අන්තර්ගත කොට, රැකියා ඉල්ලුම් කිරීමේදී භාවිත කිරීම සඳහා නිර්මාණය කරන ලද පිටු කිහිපයක් සහිත ආකෘතික සටහනක්.

රැකියා ඉල්ලුම්පත්‍ර සැකසීමේදී CV එක තමයි තිබෙන වඩාත්ම ගැළපෙන හා නම්‍යශීලීම ක්‍රමය. එහි ඔබගේ පුද්ගලික තොරතුරු, ගැළපෙනම හා හොඳම ආකාරයට ප්‍රදර්ශනය කළ යුතු වෙනවා. 
CV එකක් කියන්නෙ වෙළඳාම් සඳහා සකසන ලද ලේඛනයක්, මොනව වෙළඳාම් කරන ලිපියක්ද??? ඔබව!!! 
ඔබට, ඔබගේ හැකියාවන්, සුදුසුකම්, දක්ෂතා, අත්දැකීම් ප්‍රදර්ශනය කරමින් ඒවා වෙලඳාම් කිරීමට CV එක භාව්තා කළ හැකියි. එය යම් විශේෂිත වෘත්තීය ක්ෂේත්‍රයක සේවායෝජකයින් කිහිපදෙනෙක් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට වුවද භාවිතා කළ හැකිය. ඒ නිසා සමහර සේවා යෝජකයින් CV පිළිගන්නේ නෑ. ඔවුන්ගේම අයදුම්පතක් පුරවා එවන්න කියනවා. 

අයදුම්පතක් නිර්මාණය වෙන්නෙ අත්‍යවශ්‍ය කරන විස්තර ඉදිරියට ගෙන එමින්, සේව්‍යයාට අවශ්‍ය කරන සුදුසුකම් කෙලින්ම ලබා ගැනීමට සාදන ලේඛනයක්. ඒකෙදි ඔබට බෑ ඔබගේ දුර්වලතා ස්ඟවමින් වෙනත් ආකාරයකින් ඒවා උලුප්පවා දක්වන්න. CV එකකදි නම් එහෙම කරන්න පුළුවන්. ඊට අමතරව, මේ අයදුම්පත් පිරවීමට ඔබ ගන්නා කාලයත් ඔබ ඒ රැකියාවට/ක්ෂේත්‍රයට ඇති කැපවීම පෙන්වනවා.

CV එකක් හදන්න ස්ථිර ක්‍රමයක් තිබෙනවද? 
CV එකක් හදන්න හොඳම ක්‍රමයක් / හරි ක්‍රමයක් කියල එකක් නෑ. ඒක ඔබට කැමති ආකාරයට හදන්න පුළුවන්. CV එක කඩදාසියක් උඩ වෙන්නත් පුළුවන්, වෙබ් අඩවියක වෙන්නත් පුළුවන්, ඕනෙ නම් ටී ශර්ට් එකක් උඩ උනත් හදන්න පුළුවන්. 
කොහොම හැදුවත් හැබැයි ඒකට මූලික සැකිල්ලක් තිබෙනවා. කොහේ කොහොම හැදුවත් ඒ සැකිල්ල එහි තිබිය යුතු වෙනවා. 

CV එකක් භාවිතා කළ යුත්තේ ඇයි?
  • සේවා යෝජකයා එම ආකෘතිය යටතේ අයදුම් කරන්නට ඉල්ලා ඇති අවස්ථා වලදී.
  • සේවා යෝජකයා, විශේෂයෙන් සඳහන් නොකර "ඉල්ලුම් කරන්න..." යයි පමණක් දක්වා ඇති අවස්ථා වලදී.
  • ඔබ ඉල්ලුම් කරන රැකියා යෝජකයා රැකියා ඇබෑර්තු ඇති බව සඳහන් කර නැති අවස්ථා වල ඔබ ඇබෑර්තු ඇතැයි සිතා විචාරාත්මක/විස්තරාත්මකව එම ආයතනයට රැකියාවක් සඳහා ඉල්ලුම් කරන අවස්ථා වලදී.

ඔබගේ CV එකේ තිබිය යුතු ගුණාංග මොනවාද?
මොන ගුණාංගද තිබිය යුත්තේ, ඒවා කෙතරම් වැදගත්ද කියල අපි හොයල බලමු.

මේ සංඛ්‍යා, ඇමරිකාවේ සිදු කරන ලද සමීක්ෂණයකින් ලැබුණු ඒවා. ලංකාවට හරියටම ගැළපෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒත් ගොඩක් ගැළපෙනවා කියල මට නම් හිතෙනවා, 

45% - අයදුම් කරන රැකියාවට අදාල වන වෘත්තීය අත්දැකීම්
35% - සුදුසුකම් හා හැකියාවන්
25% - පහසුවෙන් කියවිය හැකි විය යුතුයි
16% - ඔබගේ කෞශල්‍යයන්
14% - අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ 
9% - අධ්‍යාපන සුදුසුකම් 
3% - පැහැදිලි අභිමථාර්ථ
2% - එකතු කරන ලද විශේෂිත කොටස් / පද
1% - ඔබව සම්බන්ධ කරගැනීම සඳහා විස්තර
1% - පුද්ගලික අත්දැකීම්
1% - පරිගණක පිළිබඳ දැනුම

මේවා හැම එකකටම පොදු නෑ. විවිධ රැකියා සඳහා මේ සමහර ඒව වෙනස් වෙන්න පුළුවන්. 
උදා: පරිගණක ඉංජිනේරුවෙක්ට යටින්ම තිබෙන එක උඩට යනව.

CV එක තුළ තිබිය යුතු විස්තර මොනවාද?

ලංකාවේ වෘත්තීය ක්ෂේත්‍රය ගත්තම, CV එකේ අන්තර්ගතය තිබිය යුතු පිළිවෙල, මෙන්න මේ පහල තිබෙන පිළිවෙල කියල තමයි සැලකෙන්නෙ. (ප්‍රධාන අන්තර්ගතය) (ඉංග්‍රීසි භාෂාවත් මම මෙතන සිට භාවිතා කරනව, මොකද CV එකක් බහුලව හැදෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා)
0. Name and contact info (ඔබට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය විස්තර)
1. Vision / Career Target (වෘත්තීය පැත්තෙන් ඔබගේ අනාගත ඉලක්ක)
2. Professional Experience  (වෘත්තීයමය අතදැකීම්)
3. Professional Qualifications  (වෘත්තීයමය සුදුසුකම්)
4. Academic Qualifications (අධ්‍යාපන සුදුසුකම්)
5. Achievements (වෙනත් ජයග්‍රහණ)
6. Extra Curricular Activities (විෂය බාහිර ක්‍රියාකාරකම්)
7. Personal Information (පුද්ගලික තොරතුරු)
8. Non related referees (ඔබට සෘජු සම්බන්ධයක් රහිත ඔබ ගැන කිව හැකි පුද්ගලයින්)

ඊලඟ ලිපියෙන් මේ දේවල් ගැන සවිස්තරාත්මකව කතා කරමු. ඒ ඒ කොටස නිවැරදිව හදන හැටි හා අනිවාර්යයෙන්ම ඔබට සම්මුඛ පරීක්ෂණයකට කතා කරන්න සේව්‍යයාට හිතෙන විදිහට හදන හැටි.



මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:

Job එකක් හොයාගන්නෙ කොහොමද? - 1 (සුදුසුකම් ගොඩනඟා ගැනීම)

පෙර ලිපියෙන් අපි මේ නව ලිපි මාලාවට ප්‍රවේශයක් ගත්ත. මේ ලිපි මාලාවේ අන්තර්ගතය කෙසේ වෙයිද යන්නත් ඒකෙදි කිව්ව. ඒක බලපු නැති කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහිල්ල ඒක බලන්න.
හරි. මුල්ම කොටස තමයි මේ. 
  1. ඔබගේ සුදුසුකම් ගොඩනඟා ගැනීම.
    1. ඔබගේ Resume එක යාවත්කාලීන කිරීම.
    2. ඔබ ගැන කෙටි හැඳින්වීමක් සකස් කර ගැනීම.
    3. ඔබ ඉගෙනීමට කැමති ඔබගේ රැකියාවට සම්බන්ධ දේ ලැයිස්තුවක් සකසා ගැනීම.
කොහොමද ඔයාගෙ Resume එක හරියට හදාගන්නෙ?
මේ පිළිබඳව ඉදිරියේදී සවිස්තරාත්මකව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් මේ ගැන ටිකක් සරළව කෙටියෙන් කතා කරමු.

ඔයා රැකියා හොයන්න පටන් ගන්න ඉස්සෙල්ල කරගන්න ඕනෙ දෙයක් තමයි ඔයාගෙ resume එක නිවැරදිව හා යාවත්කාලීනව සම්පූර්ණ වෙලා තියෙන එක. ඔබ ගැන සම්පූර්ණ විස්තර තිබෙන එය ඔබ ගැන පවසන වැදගත්ම තොරතුරු පත්‍රයක්. ඉතින් ඒක හොඳට හදාගන්න පොඩි ඉඟි ටිකක් අපි දෙන්නම්.
  • සත්‍ය තොරතුරු වලින් එය පුරවන්න. බොරු දාන්න එපා. එහෙම කළොත් අනිවාර්යයෙන්ම ඔබ අමාරුවෙ වැටෙනවා.
  • ඔබ සිදු කළ දේවල්, මුල් රැකියාවේදී සිදු කළ ක්‍රියාකාරකම් පවසන විට හැකි තරම් ක්‍රියාකාරී ප්‍රාණවත් වචන භාවිතා කරමින් ඒවා විස්තර කරන්න.
  • නිරවද්‍යතාවය පරික්ෂා කරන්න. ඔබගේ resume තුළට ඔබ ඇතුළු කළ තොරතුරු වල නිවැරදි භාවයත්, ඒවායේ වාක්‍ය වල උක්තාඛ්‍යාත, වචන වල අක්ෂර වින්‍යාසයන් ඉතා පරික්ෂාකාරීව පරික්ෂා කර බලන්න. මක් නිසාද යත්, සමහර ඉතාම කුඩා වැරැද්දක් උනත් සමහර අවස්ථා වල ඔබට සම්මුඛ පරීක්ෂණයේදී සෘණාත්මක ලෙස බලපාන්න පුළුවන්. තවත් දෙදෙනෙකුට පමණ පෙන්වා වැරදි පරික්ෂා කරගන්න.
  • Resume එක හරියාකාර format එකකින් ඉදිරිපත් කරන්න. ඒකෙ තියෙන දේවල් වගේම ඒකෙ පෙනුමත් හොද වෙන්න ඕනෙ. සරළ පෙනුමක් හා, සුකුරුත්තන් නැති සරල ෆොන්ට් භාවිත කරන්න. (Arial, Times, Cambria වැනි) සුදු කඩදාසිය මත කලු වර්ණයෙන් මුද්‍රණය කරගන්න. කියවන්න පහසු වෙන තරම් line spacing, margins භාවිතා කරන්න. අදාල කොටස් වෙන් කර පෙන්වන්නට Bold හා Italic ආකාර භාවිතා කරන්න. වැදගත්ම දෙයක් තමයි ඔයාගෙ නම සහ සම්බන්ධ කරගත හැකි ආකාර පිළිබඳව විස්තර ඉතා පැහැදිලි හා පහසුවෙන්ම දැක ගත හැකි අයුරින් පෙන්වන්න.
ඔබ ගැන කෙටි හැඳින්වීමත් මෙතරම් වැදගත් ඇයි?
සාමාන්‍යයෙන් සැලසුම් සහගත සම්මුඛ පරීක්ෂණ (විශාල සමාගම් වලින් එහෙම කරන) වලදී ඔබගෙන් අහන මුල්ම ප්‍රශ්නය තමයි "ඔබ ගැන අපිට යමක් පවසන්න" කියන එක. මේ කියන්නෙ ඔයා ඉපදුනු දවස ඉඳල ඔයා ගැන කියන්න කියල නෙමෙයි. අර පොඩි කාලෙ කළ My self රචනාව නෙමෙයි මේ. මේක ගොඩක් අය වරද්දගන්නව. එහෙම ඉපදුනු හැටියි ගෙදර විස්තරයි ඔක්කොම කියන අය මම දැකල තිබෙනවා. ඒ අයට නම් ජොබ් එක හම්බ වෙයිද කියල නම් මම දන්නෙ නෑ. 

එතකොට අපි මොනවද ඒ වෙලාවට කියන්න ඕනෙ??
මේකට ඕනෙ වෙන්නෙ මිනිත්තු 2ක් වගේ පොඩි කාලයක්. ඔයාගෙ පසුබිම කොහොමද, ඔයා මොනවද කරන්න කැමති (විනෝදාංශ නෙමෙයි, වෘත්තීයමය වශයෙන්), ඔයා ලබාගත් ජයග්‍රහණ, මුල් රැකියාවක් කළා නම් ඒකෙදි කළ දේවල්, ඔයාගෙ අනාගත බලාපොරොත්තු, වගේ දේවල් හරහා ඔයාගෙ කටහඬ අවධි කර ඔයා ගැන ඔයා හිතන හැටි දැනගන්නයි එයාට ඕනෙ. 
ඉතින්?
මේකට හොඳට ලෑස්ති වෙන්න ඕනෙ. මොකද මේක ඔයාට ඔයා ගැන නිදහසේ කියන්න තිබෙන වටිනා අවස්ථාවක්. ලකුණු ගොඩක් ගන්න පුළුවන් අවස්ථාවක්. කියන්න ඕනෙ දේවල් ටික පිළිවෙළට වරද්දන්නෙ නැතිව කියන්න හොඳට පාඩම් කරගන්න. හැබැයි කටපාඩමෙන් ඉස්කෝලෙදි ගාථ කිව්ව වගේ නෙමෙයි හරිද. සැහැල්ලුවෙන්, නිවැරදිව, පැහැදිලිව කතා කරන්න. පුළුවන් තරම් කෙටි කරන්න. තත්පර 30ක් - මිනිත්තු 2ක් ප්‍රමාණවත්. ඊට වඩා දික් කරන්න එපා. 
දන්න හඳුනන කෙනෙක් ඉස්සරහ කතා කරන පුරුදු වෙන්න.
මේක තවත් වැදගත් වෙන අවස්ථාවක් තමයි තවත් පිරිසක් හමු වෙලා නව සබඳතා සාදා ගන්නා අවස්ථාවක්. සාදයකදි, රැස්වීමකදි නව කණ්ඩායමක් එක්ක ඔබට කතා කරන්න අවස්ථාවක් ලැබෙනව. නව සබඳතා ගොඩනඟාගන්න. එතකොට එයාලට ඔබ ගැන කියන්න හොඳ අවස්ථාවක්. එතකොට හැබැයි මිනිත්තු දෙකක් කතා කරන්න යන්න එපා. තත්පර 30ක් හෝ ඊට කෙටි කාලයකට සීමා කරන්න. 

වෘත්තිය සම්බන්ධ, වෘත්තීය වටිනාකමක් සහිත ඔබ ඉගෙන ගන්නට කැමති දේවල් ලැයිස්තුවක් ඔබ සකස් කරගත යුතුයි.
ඒ මොකටද???
ඔයා සම්මුඛ පරීක්ෂණයට ගියාම පරීක්ෂකයා ඔයාගෙන් අහනව ඉදිරි සැළසුම් කොහොමද, අනාගත බලාපොරොත්තු කොහොමද කියල. මොනවද දෙන උත්තර?
ඔයාව ජොබ් එකට ගන්න සේවා යෝජකයා කැමතියි ඔයා ජොබ් එකෙන් ඉස්සරහට දියුණු වෙන්න සැලසුම් කරගෙන ඉන්නෙ කියල දැනගන්න. අනික එහෙම දියුණු වෙන්න හිතන්නෙ නැති කෙනෙක් වැඩට අරගෙන වැඩකුත් නෑනෙ. 
ඉතින් අන්න ඒ නිසා, ඔයා ඒ ඉල්ලුම් කරපු රැකියාවෙන් ඉස්සරහට යන්න පුළුවන්, ඒ රැකියාව හා සම්බන්ධ වැඩි දැනුමක් ලබාගන්න කරන්න පුළුවන් දේවල් ටිකක් ලැයිස්තුගත කරගෙන යන එක වැදගත් වෙනවා. කියවන්න පුළුවන් යම් පොත් කිහිපයක නම් බලාගන්න, ඉස්සරහට එන්න තිබෙන සම්මන්ත්‍රණ පිළිබඳ හොයල බලන්න, කළ හැකි පාඨමාලා පිළිබඳ සොයා බලන්න,
තවත් ඉස්සෙරහට ඉගෙනගෙන තවත් දියුණු වෙන්න කැමති අයට රැකියා දෙන්න කවුරුත් කැමතියි.
සාමාන්යයෙන් හැම රැකියාවකටම වගේ ඕනෙ වෙන හැකියාවන් කිහිපයක් මම කියන්නම්.

තාර්කික චින්තනය හා තොරතුරු එකලස් කිරීමේ හැකියාව.
හුඟක් රැකියා වලදි තොරතුරු විශාල ප්‍රමාණයක් එක්ක වැඩ කරන්න අවස්ථා තිබෙන්න පුළුවන්. ඉතින් ඒවා පිළිවෙලකට සකසල නිවැරදි අවසන් නිගමන ලබා දීම ඉතා වැදගත් වෙන්න ඉඩ තිබෙනවා.

තාක්ෂණික හැකියාවන්.
තාක්ෂණය නම් දැන් නැතිවම බැරි දෙයක් වෙලානෙ. ඔබට පුළුවන් වෙන්න ඕනෙ සාමාන්‍ය පරිගණක දැනුමක් සහිතව පරිගණකයකින් සිදුකර ගන්න ඕනෙ වෙන මූලික කටයුතු සිදු කරගන්න. ඒත් එක්කම scanner එකක්, ඡායා පිටපත් යන්ත්‍රයක් වගේ අදාල රැකියාව හා සබැඳී තිබෙන යම් තාක්ෂණික වැඩ කටයුතු තනිව සිදුකරගන්න. මේකෙන් කියවෙන්නෙ නෑ ඔබ තාක්ෂණික විෂයන් හදාල පුද්ගලයෙක් වෙන්න ඕනෙ කියල. මූලික දැනුම පමණයි අවශ්‍ය.

හොඳ සන්නිවේදන හැකියාවක්.
සේවා දායකයෙක්, සේවකයෙකුගෙන් බලාපොරොත්තු වන විශේෂම දෙයක් තමයි හොඳ සන්නිවේදන හැකියාවක්. තමන්ට කියන්න ඕනෙ දේ නිවැරදිව හා හරාත්මකව, වාචිකව හෝ ලිඛිතව පැවසීමට හැකි වීම ඉතාම වටිනා හැකියාවක්. ඒ හැකියාව හොඳින් තිබෙන අයට පහසුවෙන් රැකියාවක් හොයාගන්න පුළුවන්. මේ කාලයේදී නම් මේක වඩාත්ම අදාල වෙනවා ඉංග්‍රීසි භාෂා දැනුමට. වාචික හා ලිඛිත දෙකම.

හොඳ අන්තර්පුද්ගල සබඳතා.
රැකියාවක් කිව්වම තනියම ඉඳන් කරන දෙයක් නෙමෙයි. විවිධාකාරයේ පුද්ගලයින් එක්ක විවිධාකාරයේ දේවල් ඔබට සිදු කරන්න වෙනවා. ඉතින් සාර්ථක අන්තර්පුද්ගල සබඳතා ඇති කරගැනීම හා ඒවා පවත්වා ගැනීම ඉතාම වැදගත් සාධකයක් වෙනව, රැකියාවේ සාර්ථකත්වයට. 

ඊලඟ ලිපියෙන් කතා කරමු සූදානම් වන ආකාරය ගැන.


අපේ ලිපි මාලාව ඔබගේ ඊ මේල් ගිණුමටම තාමත් ඔබ ලබා ගන්නේ නැතිනම් අපිත් එක්ක දැන්මම එකතු වෙන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය යොදා subscribe වන්න.


ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:

ශ්‍රී ලාංකිකයින් සම්මුඛ පරීක්ෂණයකට යාමේදී කරන විශාලතම වැරදි 5

ඉතින් කියන්න බලන්න, රැකියාවක් කරන වයසෙ ඉන්න කෙනෙක්නම් ඔබ, එකම එක ඉන්ටර්විව් එකකට හරි ගිහිල්ල තියෙනවනෙ නේද? සාර්ථකව මුහුණ දුන්නද? රැකියාවට තෝරා ගත්තද? එහෙනම් සුභ පැතුම්. ඔබ යම් තරමක සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනව.
මම නම් මුලින්ම ගිය ඉන්ටර්විව් එක ඉහළින්ම ෆේල්. ගන්නම දෙයක් නැති උනා. එහෙනම් දෙවනි එක? ඒකත් එච්චරම තමා. :(
හ්ම්ම්. මට උනු දේ ඔයාල ගොඩක් අයටත් වෙලා ඇති. 

එහෙනම් මේ සාමාන්‍ය දෙයින් ආරම්භ කරමු. 

මොනවද ශ්‍රී ලාංකික වන අපි සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වෙනකොට හා / හෝ ගියාම කරන ප්‍රධානතම වැරදි? අපි එහෙම වැරදි 5ක් සාකච්ඡා කරමු.

1. සම්මුඛ පරීක්ෂණයට පියා / මව සමඟ පැමිණීම

දෙය්යනේ, මේක නම් කවම කවදාවත් කරන්නෙපා. ඔබට කියන්න කිසිම නිදහසට කරුණක් නෑ මේ සඳහා.

ඔබ සම්මුඛ පරීෂණයකට යන්නෙ මොකටද?
 ඒ අදාල සමාගමට පෙන්නන්න ඔබට වැඩක් කරන්න පුලුවන් කියල. ඔබේ හැකියාවන් පෙන්නන්නයි යන්නෙ. සමාගමක් කියන්නෙ වැඩිහිටියන් එකතු වෙලා වගකීම් බෙදාගෙන වැඩ කරල සමාගම ලාභ ඉපයීම සඳහා රැගෙන යන කණ්ඩායමක් ඉන්න තැනක්.
ඉතින් එතනට ඔබ අම්ම/ තාත්ත එක්ක එන එකෙන් මොනවද කියවෙන්නෙ??? ඔබ ප්‍රසිද්ධි‍යේ හැමෝටම කියාපානව, වැඩිහිටියෙක් ලෙස ඔබ කළ යුතු මූලිකම දේවත් ඔබට කරන්න බෑ කියල. තනියම වැඩක් කරගන්න බෑ කියන එක. ඒක ඔබගේ සේවාදායකයා දැක්කම මොකද වෙන්නෙ? "මෙහෙම තනියම තැනකට එන්න බැරි කෙනෙක්ට මම ජොබ් එකක් දුන්නොත් මෙයා කොහොම මේක කරයිද???!!!" කියන හැඟීම තමයි. ඉතින් එතනින්ම ඔබ කැපිලම යනව. (කියන්න සතුටුයි මගෙ අතින් නම් මේ වැරැද්ද උනේ නෑ.)
හැබැයි ලංකාවෙ දෙමව්පියන් හුඟක් තමුන්ගෙ දුවල ගැන සැළකිළිමත් වෙන නිසා පරිස්සමට එනව. ඒක නරකයි කියන්න බෑ, එපා කියන්නත් බෑ. එහෙනම් මොකද කළ යුත්තේ? ගෑණු ළමයි අම්ම / තාත්ත එක්ක ආවට කමක් නෑ. නමුත් එයාලට ඔබ ඉන්ටර්විව් එකට යන ආයතනය තුළට එන්න එපා කියන්න. පුළුවන් තරම් නොපෙනෙන්න ඉන්න කියන්න. 

2. සූදානමකිත් තොර වීම.

මේක ඇවිල්ල, ලංකාවෙ තිබෙන බහුලම දේ. ඒත් එක්කම නොකළම යුතු දේ. මේ කියන්නෙ, අමතර CV පිටපතක් රැගෙන නොඒම, හරියට ඇඳගෙන නොඒම වගේ දේවල් නෙමෙයි. ලංකාවෙදි ඒව ලොකු ප්‍රශ්න නෙමෙයි. ප්‍රශ්නෙ වෙන්නෙ, ලංකාවෙ ජොබ් ඉන්ටර්විව් එකකට යන අයගෙන 90%ම තමුන් මේ ඉන්ටර්විව් එක යන සමාගම ගැන කිසිම දෙයක් දන්නෙ නැති එක. සමාගමට වෙබ් සයිට් එකක් තියෙනව නම් ඒකට ගිහිල්ල නෑ, මොනවද ඒ සමාගමේ කරන්නෙ කියල හරියට දන්නෙ නෑ, ඇප්ලයි කරල ජොබ් එකේ මොනවද කරන්න තියෙන්නෙ කියල දන්නෙ නෑ....... ඒත් කියනව තමුන්ට ඒ ජොබ් එක කරන්න පුළුවන් කියල. :D
මේකෙන් ඔබගේ සේවාදායකයා එක දෙයයි තේරුම් ගන්නෙ. ඔබ සිතන්නේ ඔබ ගැන විතරයි කියල.
ඔබ ඉන්ටර්විව් එකට එන්නෙ මේ කිසිවක් නොදැන නම් ඒ කියන්නෙ ඔබ මෙන්න මෙහෙම දෙයක් අඟවනවා කියන එක. 
"මම මෙතනට ආවෙ ජොබ් එකක් ගන්න. මම ඒක ගැන මොකුත් හොයන්න ඕනෙ නෑ. මට ඕනෙ කොම්පැනියක ඕනෙ ජොබ් එකක් කළෑකි." වගේ දෙයක්. 

"රැකියාව"ක් කියන්නෙ මොකද්ද ඇත්තටම???
ආයතනයක් තිබෙන්නෙ කාටවත් රැකියා දෙන්න නෙමෙයි. ඔවුන් සිටින්නේ යම් සේවාවක්, නැතිනම් යම් නිෂ්පාදනයක් හරහා යම් අවශ්‍යතාවයක් පිරිමසන්න, නැතිනම් පවතින ගැටළුවකට පිළිතුරක් දෙන්න.
ඉතින් ඔබ යන්නෙ ඒ කාර්යයට සහය වෙන්න.
ඉතින් සම්මුඛ පරීක්ෂණයේදී ඔබ ඔවුන්ට පෙන්නන්න ඕනෙ, "ඔයාල කරන්නෙ මොනවද කියල මම හොඳින් දන්නව, ඒකට සහය වන්න මට පුළුවන්" කියන දේ. සම්මුඛ පරීක්ෂණය තියෙන්නෙ ඔබට නෙමෙයි, ඔබට කළ හැකි දේ වෙනුවෙනුයි. 

3. පළමු සම්මුඛ පරීක්ෂණයේදීම වැටුප ගැන විමසීම

ඇත්ත. අපි රැකියාවකට යන්නෙ මුදල් හොයන්නනෙ. ඒත් මොකද හදිස්සිය? අලුතින්ම ජොබ් එකකට යන්න හොයන අය මේක නොදැන සිටින්න පුළුවන්, නමුත් ඉන්ටර්විව් එකකට දෙකකට ගිය අය දන්නව, අහන්න පුළුවන් නරකම ප්‍රශ්නය තමා පඩි කොහොමද කියන එක කියල. සාමාන්‍ය ක්‍රමය නම් දෙවන හෝ තෙවන (ඔබව අවසන් කිහිපදෙනා අතරට තෝරාගන්නා පරීක්ෂණය) සම්මුඛ පරීක්ෂණයේදී තමයි වැටුප් ගැන ඇසිය යුත්තේ. 
මුල් පරීක්ෂණ වලදී ඔබගේ මූලිකම ඉලක්කය වෙන්න ඕනෙ ඔබගේ හැකියාවන් පෙන්වීම හරහා ඔබව මාකට් කරන එක. 
හ්ම්ම්. ඔබ අනිවාර්යයෙන්ම එතකොට මෙහෙම හිතයි. "මෙයාල දෙන්නෙ අඩු පඩියක් නම්??? මම මගෙ කාලය අපතේ හරිනව නේද" කියල. ඔව්, එතන පොඩි අනතුරුදායක තත්වයක් තිබෙනව. අමුත් ඒක ගත යුතු රිස්ක් එකක්. ඔබ ඒ කාලය අපතේ හරිනවා නම් අදාල ආයතනය කොතරම් කාලයක් අපතේ යවනවද වැඩක් නැති අයදුම්කරුවන් පරික්ෂා කර කර???
ඉතින් ඔයා වැටුප් ගැන අහන්න අහන්න, එයාලට ඔයාව එපා වෙනව. 
මොකද ජොබ් එකක් කරන්න එන්නෙ සල්ලි හොයන්න උනත් කවුරුවත් කැමති නෑ සල්ලි පස්සෙම දුවන මනුස්සයෙක්ව ජොබ් එකකට ගන්න. 

4. එකම CV එක හැම අයදුම් කිරීමකටම භාවිතා කිරීම.

හොඳ CV එකක් හදන එකත් එක්තරා හැකියාවක්. මීට පෙර අත්දැකීමක් නැතිනම් ඒක තවත් අමාරුයි. සමහරු එකම ජොබ් එකට ඇප්ලිකේශන් කිහිපයක් එවනව. බොහොමයක් දෙනා එකම CV එක ගමරාලගෙ වංගෙඩිය වගේ හැම එකටම යවනව. මේකට කියන්නෙ "Shot Gun Approach" කියල. Shot Gun එක ඕනෙ එකෙක්ට වෙඩි තියන්න පාවිච්චි කළෑකිනෙ, තිබ්බම පළාතක් ඉවරයි. ඒ කියන්නෙ. එක CV එකක් හදාගන්නව, ඒක හතර වටේටම යවනව. ඒක හරියන වැඩක් නම් නෙමෙයි, ඒක හුඟක් අයට අල්ල ගත්තැකි. ඒකෙන් කියවෙන්නෙ, ඔබ අයදුම් කරන ජොබ් එක ගැන ඔබට උවමනාවක් නෑ කියන එකයි. ආපහු අංක 2ට යන්නකො. මේකත් යන්නෙ එතනටම තමයි. 
හැම ජොබ් එකකට ගැළපෙන දේවල් තියෙනව. ඉතින් ඒවට ගැළපෙන ආකාරයට හැම වෙලේම අලුත් ජොබ් එකකට අලුතින් CV එකක් හදන්න. 

ඉතින් මොකද්ද කරන්න ඕනෙ? 
Sniper කෙනෙක් වගේ වෙන්න ඕනෙ, හොඳට බලන් ඉඳල, හොඳට සූදානම් වෙලා හරියටම ඉලක්කයටම තියන්න ඕනෙ. 
අදාල ආයතනය ගැන, ඔවුන්ගේ විෂය පරාසය ගැන, ඔවුන් කරන දේවල් ගැන හොඳ අවබෝධයක් මුලින්ම ගන්න ඕනෙ. පුළුවන් නම් ඉස්සෙල්ල දවසක ආයතනයට කෝල් එකක් දීල විස්තර ටිකක් හොයාගන්න. ජොබ් එක ගැන නෙමෙයි, ආයතනය කරන දේවල් ගැන. :)
උදා: ඔබ යන්නෙ IT Firm එකක Programmer ජොබ් එකකට නම්, ටිකක් හොයල බලන්න මොනවද ඔවුන් භාවිතා කරන මෘදුකාංග, Programming languages, මොන වගේ මෘදුකාංගද හදන්නෙ වගේ දේවල් ගැන පොඩ්ඩක් හොයල බලන්න. ඔවුන් භාවිතා කරන්නෙ ජාවා කියමු. ඔබට එතකොට පුළුවන් ඔබගේ CV එකේ ඔබට ජාවා ක්‍රමලේඛ දැනුම තියෙනව කියල විශේෂයෙන් දාන්න. 
ඒව දන්නව කියල ඊට පස්සෙ ඔබ පෙන්නුවම සම්මුඛ පරීක්ෂණයේදි, ආයතනය ඔබ ගැන ඉහළින්ම පැහැදෙනව. හැම එකක්ම ඔබට කියල දෙන්න ඕනෙ නෑ, ගොඩක් කල් පුහුණු කරන්න ඕනෙ නෑ, ඉතින් ඒක ආයතනයට පහසුවක් වගේම මුදල් ඉතිරියක්. 
ඉතින් මොකද වෙන්නෙ? ඔබව ඔවුන් තෝරා ගන්නව.

5. වෙලාවට නොපැමිණීම හා එන්නට නොහැකි නම් නොපැවසීම. 

කතාවක් තියෙනවනෙ, "ඔබ මිනිත්තු 10ක් ඉක්මනින් ආවෙ නැතිනම් ඔබ මිනිත්තු 5ක් ප්‍රමාදයි" කියල.
අයදුම්කරුවන්ගෙන් 30%ක්වත් මේ පරීක්ෂණය නම් අසමත් වෙනවාලු. 
ලංකාවෙ මිනිස්සු නම් වෙලාවට වැඩ කරන්නෙම නෑනෙ කවදාවත්. නමුත් සම්මුඛ පරීක්ෂණයකට යන දවසෙවත් වෙලාවට එතනට යන්න. 
අනිත් එක, අදාල වෙන් කරගත් දිනයට වෙලාවට එන්න බැරි වෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට ඒක අදාල ආයතනයට දන්වන්න, වෙනත් වෙලාවක් වෙන් කරගන්න ඔබට පුළුවන් වේවි. අපේ අය ඉතින් බයට කතා කරන්නෙ නෑනෙ. :( හේතු දක්වන්න ඕනෙ නෑ. ඒ දව්සට වෙලාවට එන්න වෙන්නෙ නෑ, වෙනත් වෙලාවක් ලබාදෙන්න කියන්න.  
ලංකාවෙ බොහොමයක් රැකියා අයදුම්කරුවන් වෙලාවට අදාල ස්ථානයට ගිහිල්ල ඉන්නෙ නෑ. උදේ 10ට එන්න කිව්වොත් එන්නෙ 10.15 නැත්තම් 10.30ට. ඒකෙ අනිත් පැත්තයි වෙන්න ඕනෙ. 9.45ටවත් යන්න. ගිහිල්ල පොඩ්ඩක් රිලැක්ස් වෙලා ලෑස්ති වෙලා ඉන්න. 

එහෙනම් මම මේ ලිපිය මෙතනින් නවත්වනවා. තවත් මේ ආකාරයේ ලිපි කිහිපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා. බලමු. මේකට එන ප්‍රතිචාර කොහොමද කියල. 

මෙම ලිපිය http://www.theceylonian.com වෙබ් අඩවියේ ලිපියකින් උපුටා ගන්නා ලද කරුණු වලින් සමන්විතය.

වෘත්තීය මාර්ගෝපදේශනය


This is a test post.